අපි තෙවැනි බිම් බෝම්බයේ පිහිට සෙව්වෙමු. එය මහා හඬින් පුපුරා ගියේය. නමුත් පිපිරීමෙන් තැනුනේ කෙනෙකුට පහත් වී රිංගා යා හැකි ප්රමාණයේ කුහරයකි. හිර ගෙදර හා අවට වෙඩි හඬ වලින් ගිගුම් දෙද්දී අපි කරුවලේම තාප්පය අසලට රොක් වෙමින් සිටියෙමු. ස්වයංක්රිය ගිනි අවිවලින් වෙඩි උණ්ඩ එක පිට එක මුළු හිර ගෙදර පුරා ගිනියම් වූ ආලෝක ධාරා මැද එල්ල වෙමින් තිබුණි. පිටත සිටි කණ්ඩායම් දෙක විටින් විට කරන වෙඩි තැබීමට ගුවන් භටයෝ වෙඩි සියදහස් ගණනින් පිළිතුරු දෙති. අපට තිබුණු එකම වාසිය බේස්ලයින් පාරේ තිබූ සන්නද්ධ රථය රියාත්මක නොව්මය. ඒ වෙනුවෙන් අපේ හොඳම වෙඩික්කරුවෙකු යොදවා තිබිණ. ඔහු වෙස්ලි විදුහල ඇතුළේ සිට නොකඩවා වෙඩි තබමින් ප්රහාරක ගුවන් භටයා සන්නද්ධ රථයට ඇතුළු වීම වළක්වමින් සිටියේය. ඒ වගකීම හරියටම ඉටු කළේ ලයනල් රණසිංහය.
බෝම්බයෙන් පුපුරා ගිය කුහරය අසලම අට්ටලායේ සිටි භටයා වෙඩි තබද්දීම ඉණිමග දිගේ උඩට ගමන් කළ උපාලි දිවි නොතකා පෙට්රල් බෝම්බයක් රැගෙන අට්ටාලයට කිට්ටු වෙද්දි සෝමේ ඉතා හැඟුම්බර ලෙස "උපාලි බලාගෙන, මූ වෙඩි තියාවි. උඩටම යන්න එපා"යි කීවේය. ඒ අතර තාප්පය අසල උන් අපි සැවොම ගිනි අවිය බිමට දා යටත් වන ලෙස ගුවන් භටයාට කෑ ගසමින් සිටියෙමු. ඉණිමග දිගේ උඩට ගිය උපාලි පැට්රල් බෝම්බය විසි කිරීමට පෙර ගුවන් භටයා අවියත් සමග අට්ටාලයෙන් බිමට පැන පලා ගියේය. ඈතින් පිහිටි අට්ටාලවල සිටි ගුවන් භටයන් වෙඩිතබාගනිමින් සිටින්නේ පිටත සිටි අපේ කණ්ඩායම් දෙක සමඟය. එහෙත් දැන් ආසන්න අනතුරු අවසානය. අපි ආසියාවේ විශාලතම සිරගෙය බිඳ වාර්තාවක් තැබීමට සුදානම් වෙමින් සිටියෙමු.
| Language | Sinhala |
| ISBN | 9786246296971 |
| Pages | 608 |
There are no reviews yet