හදවත නතර වුවා සේ දැනිණි. දෑස් නිලංකාර විය. එම පුවත දැනුණේ හදවතටය. ඇසුණේද හදවතටය. පුවත වුයේ 1989 ජූලි 31 ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනයයි.
ජවිපෙ 2 වැනි කැරැල්ල 1986 සිට 1990 දක්වා පැවති අතර එහි අරමුණ වූයේ ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකර ගැනීමේ උපායමාර්ගික ගමන් මඟ අනුව යමින් එය ක්‍රියාවට නැඟීමය. ඒ අනුව කැරැල්ලේ කටයුතුවලට එරෙහි වන්නන් සතුරන් සේ සලකා සමාජයෙන් 'ඉවත් කිරීමද' සිදු විය.
කැරැලිකරුවන් විසින් ජන ජිවිතයට අතිශය හානිකර යැයි කියමින් ලේක්හවුස් සහ ඇත්ත පුවත්පත් 1988 මැයි 20 සිට තහනම් කරන ලදී. එය නොතකා පත්තර විකුණූ සහ බෙදාහැරි පුද්ගලයන් 28ක් රට පුරා ඝාතනය කෙරිණි. එමෙන් ම රජයේ රූපවාහිනි නැරඹු සහ ගුවන්විදුලිය ඇසූ පුද්ගලයන් 219ක් ඝාතනය කර තිබිණි. ඒ අනුව රජයේ ගුවන් විදුලි සහ රූපවාහිනී 1989 ජූලි 07 සිට හමුදා පාලනය යටතට ගැනීමට ආණ්ඩුව තීරණය කළේය.
2 වැනි කැරැල්ල නිමා වනවිට කලාකරුවන් 17ක් ඝාතනය වූ අතර ඉන් 11ක් කැරැලිකරුවන් විසින් ද 6ක් ආරක්ෂක අංශ මගින්ද ඝාතනය විය. ඒ මහා ඛේදවාචකයේ එක සන්ධිස්ථානයක් වූයේ ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනයයි. ඉන් වසර 36 කට පසු එළිදකින මෙම ග්‍රන්ථය ඔස්සේ ඒ සිදුවීම සහ ඒ ආශ්‍රිතව පැනනැඟුණු සිදුවීම් මාලාව පැහැදිලි චිත්‍රයක් සේ විවර කර තිබේ.
දිවයින පුවත්පතේ එවකට කර්තෘ මාණ්ඩලිකයකු ලෙස කැරැල්ලේ මුල් පෙළේ නායකයන්, ක්රියාකාරිකයන් රැසක් වෘතිය වශයෙන් ඇසුරු කළ ග්‍රන්ථයේ කතුවරයා බොහෝ සිද්ධි සියැසින් දුටු, ඇසූ සහ වාර්තා කළ ජනමාධ්‍යවේදියෙකි. අසූව දශකයට යළි පාඨක මනස යොමු කරන මෙම කෘතිය භීෂණ යුගයේ සමස්ත දේශපාලනයම හකුළුවා දක්වන සංකේතයක් බඳුය. එය ගවේෂණාත්මක ප්රවෘත්ති කළාවේ නව සම්ප්රාප්තියක් ද සටහන් කර ඇත. ජවිපෙ 2 වැනි කැරැල්ල පිලිබඳව සම්භාවනාවට පත්වූ ග්රන්ථ 4ක් සම්පාදනය කළ කතුවරයාගේ 55 වන ග්‍රන්ථය මෙයයි.
Author | Dharman Wikramarathna |
Language | Sinhala |
ISBN | 9786249438903 |
Pages | 255 |
There are no reviews yet